HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද 165 වැනි උපන්දිනය සමරන තෝමස් අල්වා එඩිසන්ගේ නුදුටු පැති

අද 2012 පෙබරවාරි 11 වැනිදා. තෝමස් අල්වා එඩිසන්ගේ 165 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. ඔහු උපන්නේ 1847 පෙබරවාරි 11 වැනිදා ඇමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ මිලාන්වලදීය. මියගියේ 1931 ඔක්තෝබර් 18 වැනිදා නිව්ජර්සි ප‍්‍රාන්තයේ වෙස්ට් ඔරේන්ජ්හිදීය.



ලෝකයේ නව නිපැයුම්කරුවන් අතර විශිෂ්ටතමයා ලෙස සැලකෙන ඇමරිකාවේ තෝමස් අල්වා එඩිසන් නව නිපැයුම් 1300කට පමණ හිමිකම් කියන්නෙකි. එහෙත් ඔහු නිසි අයුරින් පාසල් ගිය දරුවකු නොවීය. ඔහු කුඩා කල හැම විට ම අමුතු ප‍්‍රශ්න ඇසූ අයකු විය. ඒ නිසා ම අසල්වැසියන් සිතුවේ ඔහු ‘පමණට වඩා පැහිච්ච’ ළමයකු ලෙසය. වරක් ඔහුගේ මවට ඔහුගේ ගුරුවරයා කීවේ ඔහු ‘මොළේ අවුල් කර ගත් නරක’ ළමයකු බවය. ඒ කතාවෙන් කෝපයට පත් වෘත්තියෙන් ගුරුවරියක වූ එඩිසන්ගේ මව ඔහු පාසලෙන් ඉවත් කර ගෙන තමා ම ඉගැන්වීමට පටන් ගත්තාය. එඩිසන් ඉක්මනින් ම පොතපත කියවීමට පුරුදු විය. කියවූ හැම පොතක් ම ඔහුට එසැණ කටපාඩම් හිටියේය. පොතක පිටු පෙරළන වේගයෙන් ම කියවීමට ද ඔහුට හැකියාව තිබුණේය.


වැඩිපුර විද්‍යා පොත් කියවීමට යොමු වූ ඔහු තමන්ගේ ම කුඩා රසායනාගාරයක් තනා ගෙන විවිධ අත්හදා බැලීම් කරන්නට විය. ඒ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය හා උපකරණ මිල දී ගැනීම සඳහා ඔහු වයස අවුරුදු 12 දී රැකියාවකට ගියේය. ඒ දුම්රියේ පුවත්පත් අළෙවි කළ ළමයකු ලෙසය. ඔහු එයින් සෑහීමකට පත් වූයේ නැත. පරණ මුද්‍රණ යන්ත‍්‍රයක් මිල දී ගෙන එය දුම්රියේ ම තබා ගෙන තමාගේ සතිපතා පුවත්පතක් නිකුත් කරන්නට විය. එය දුම්රිය මැදිරියක් තුළ මුද්‍රණය කළ ලොව එකම පුවත්පත විය. ඔහු දුම්රිය මැදිරියක මුල්ලක සිය අත්හදා බැලීම් සඳහා රසායනාගාරයක් ද ආරම්භ කළේය. එහෙත් අවාසනාවකට එහි හටගත් ගින්නක් නිසා ඔහුත් ඔහුගේ උපකරණත් දුම්රියෙන් එළියට විසි කෙරිණ.

1862 දී තරුණ එඩිසන්ට වාසනාව පෑදුණේය. දුවන දුම්රියකට අසුවන්නට ගිය කුඩා ළමයකු බේරා ගත්තේය. ඒ ගැන පැහැදුණු ඒ ළමයාගේ පියා ඔහුට ත්‍යාගයක් දීමට මුදල් නැති නිසා විදුලි පණිවුඩ යැවීමේ ශිල්පය ඉගැන්වීමට කැමැත්ත පළ කළේය. එඩිසන් එකපයින්ම ඊට කැමති විය.


ඔහුගේ එකම විද්‍යාත්මක සොයා ගැනීම
නව නිපැයුම් 1300ක් ලොවට දායාද කළ තෝමස් අල්වා එඩිසන්ගේ ඒ නව නිපැයුම් අතර සත්‍ය වශයෙන් ම විද්‍යාත්මක යැයි කිව හැකි නව සොයා ගැනීම් ඇත්තේ එකම එකක් පමණය. එය රික්තයක් තුළින් විදුලිය ගමන් කිරීම පිළිබඳ න්‍යායකි. එය එඩිසන් ආචරණය (Edison's effect) යනුවෙන් හැඳින්වෙයි. ඒ සංකල්පය සඳහා හිමිකම් පතක් ලබා ගත්තද ඉදිරියේ දී ඉන් ලැබිය හැකි ප‍්‍රයෝජන ගැන හැඟීමක් ඔහුට තිබුණේ නැත. ඔහු එය අමතක කර දමා වෙනත් නිපැයුම් කෙරෙහි යොමු විය. කෙසේ නමුත් එඩිසන් ආචරණය පසුව මුළු ඉලෙක්ට්‍රොනිික කර්මාන්තයේ ම පදනම විය. රේඩියෝව, ටෙලිවිෂනය ඇතුළු දහසකුත් එකක් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආවේ ඒ අනුවය. ඒත් ඒ කිසිවකට හිමිකම් පතක් ලබා ගැනීමට තරම් අනාගත දැක්මක් ද ඔහු තුළ නොවීය.

එඩිසන්ට නොතිබුණු පෙර දැක්ම
නව නිපැයුම් රැසක් කළ තෝමස් අල්වා එඩිසන් කිසිදාක ‘හඬක්’ නොඇසූ සම්පූර්ණයෙන් ම බිහිරි පුද්ගලයෙකි. එහෙත් ඔහු කළ එක් විශිෂ්ට නිර්මාණයක් හඬ හා සම්බන්ධය. ඒ ග‍්‍රැමෆෝනයයි. හඬ පටිගත කොට නැවත ඇසිය හැකි ග‍්‍රැමෆෝනය සොයා ගත් ඔහු එදා එය සංගීතය හා විනෝදය සැපයිය හැකි මාධ්‍යයක් ලෙස සැලකුවේ නැත. ඔහු එහි දුටුවේ ව්‍යාපාරික හා අධ්‍යාපන කටයුතුවලට යොදා ගැනීමට ඇති හැකියාවයි. ඔහුගේ පෙරදැක්මට අනුව ඉන් ලද හැකි ප‍්‍රයෝජන මෙසේය: කියවන විට ලිවීම සඳහා යොදා ගැනීම, අන්ධ අයට අවශ්‍ය තැටි ගත කිරීම, කට හඬින් ඉතිහාස කථා තැටි ගත කිරීම, කථන භාෂා සංරක්ෂණය, සුච්චාරණය ඉගැන්වීම, වෙලාව කියන ඔරලෝසුවලට යොදා ගැනීම ආදියයි. එහෙත් අද ඒ සියල්ල අබිබවා ‘හඬ පටිගත කිරීම’ කොතරම් දුර ගොස් ඇද්දැයි අද අපි ලොව පුරා භාවිත කරන නව නිපැයුම් දෙස බලා ඔබම තීරණය කරන්න.

ඔහුගේ තවත් අපූරු නව නිර්මාණයක් වූ ‘චලන චිත‍්‍රපටය’ ගැන ඔහු එදා ප‍්‍රසිද්ධියේ මෙසේ කියා තිබේ: ”ඇමරිකානුවන් කැමති චලන චිත‍්‍රපට ශාලාව තුළ විවේකීව, නිස්කලංකව, නිහඬව ගත කරන්නයි.” ඔහු මේ ප‍්‍රකාශය කර තිබුණේ 1926 දී නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයටය. ”ඒ නිසා ඔවුන්ට තිරය මත චලනයට අමතරව කථාව ඇසුණොත් එයින් රූපය දැකීමට බාධාවක් වෙනවා. ඒ වගේ ම නළුවාගේ කථාව කලින් ලියන්නත් සිදු වෙනවා. ඒ අදහස කවදාවත් කි‍්‍රයාවට නැංවිය හැකි ප‍්‍රායෝගික එකක් නෙවෙයි” චිත‍්‍රපටය කියන විස්මිත නිර්මාණය බිහි කළ පුද්ගලයා එදා ඒ ගැන කියූ දේ සහ අද එය පත්ව ඇති තත්වය ඔබම සසඳා බලන්න.

Post a Comment

2 Comments

  1. වටිනා බ්ලොග් එකක්....සින්ඩියේ තියෙන පුහු හිස් බ්ලොග් වලට හොද මග පෙන්වීමක්...මේ වගේ හරවත් ලිපි ලියන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
  2. Edison ge nava nipayum lokaya venas kala.
    Vadagath Lipiyak. Thanx Malkakulu!

    ReplyDelete