HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මැරිලත් රජතුමා හිනැස්සූ අන්දරේ : අන්දරේගේ කතා

අප විසින් අන්දරේගේ කතා පළ කරද්දී මෙහි පළ කළ අන්දරේගේ අවසාන මොහොත දැක්වෙන ස්මාරකය ගැන අපේ ආදරණීය පාඨකයන් විමසීමක් කළ නිසා අන්දරේගේ ස්මාරකයෙහි ස්වරූපය එසේ වීමට හේතුව පැහැදිලි කිරීමට අපට අන්දරේගේ අවසාන විහිළුව කලින් පළ කරන්නට සිදු විය. මේ අන්දරේගේ කතාවල අවසානය නොවේ. තවත් කතා රැසක් ඉදිරියේ දී පළ වෙයි.

උපදින කාටත් මරණය නියත බව අපි කවුරුත් දනිමු. ඒ නිසා මරණයක් ඇසීම පුහුදුන් කාට වුනත් දුක් ගෙන දෙන්නකි. සතුරකුගේ වුවත් මරණය ගැන ඇසීමෙන් සිනාසෙන කෙනෙක් නැත. එහෙත් අන්දරේගේ මරණය ඇසීමෙන් සිනහ නොවන කෙනෙක් නැත. රජතුමාටත් අන්දරේ මැරී සිටිනු දැකීමෙන් සිනහ ගියේය.

ඒ කතාව මෙහෙමයි.

මහනුවර රාජධානිය කර ගෙන සිටි රජතුමාගේ රාජසභාවේ සේවය කළ ද අන්දරේගේ උපන් ගම පිහිටියේ දකුණු පළාතේ මාතර දිසාවේය. මහලූ වියට පත් අන්දරේ මැරෙන්න කලින් තමන් උපන් ගම් පළාත දැකබලා ගෙන ඒමට කල්පනා කළේය. තමන්ගේ කැමැත්ත රජතුමා දැන්වූ පසු එතුමා ඊට එකඟ වී අන්දරේ යන අතර මග හමුවන ගම්පතීන්ට අන්දරේ රාජදූතයකු ලෙස පිළිගෙන හොඳින් සාත්තු සප්පායම් කරන ලෙස දන්වා ලියමනක් ද දුන්නේය.

අන්දරේ ගමන පිටත් විය. අතර මග ගම්මුලාදෑනින්ගෙන් සත්කාර ලබමින් ? බෝ වූ පසු නවාතැන් පහසුකම් ලබමින් ගිය අන්දරේ මාතරට නුදුරු ගමක දී බලවත් පාචන රෝගයක් හට ගත්තේය. ඒ ගමේ ගම්පතියා ද ඒ පළාතේ ඉන්නා හොඳම වෙදුන් ගෙන්නා අන්දරේට ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. තමන්ගේ අවසානය ළඟා වී ඇති බව අන්දරේ අවබෝධ කර ගත්තේය.

මරණාසන්න මොහොතේ අන්දරේ ගම්පතියා අමතා මෙසේ කීය:

‘‘මං මැරෙන්නයි යන්නේ. මා මළ පසු රජ්ජුරුවන්ට ඒ බව දන්වා යවන්න. රජ්ජුරුවන් වහන්සේ ඇවිත් බලා කළ යුතු දෑ ගැන නුඹලාට නියෝග දේවි. එතෙක් මගේ මළකඳ හොඳින් ආරක්ෂා කරන්න  ඕනෑ. මගේ මළකඳට කිසි දෙයක් කරන්න එපා.’’ අන්දරේ කීය.

එසේ කියා අන්දරේ හතරගාතය දිග හැර සිරුර කතිරයක් ලෙස සිටින සේ තබා ගෙන අවසන් හුස්ම හෙළීය.

ගම්පතියා ද අන්දරේ කී ලෙස ම ඔහුගේ සිරුර එසේ තිබෙන්නට හැර රජතුමාට අන්දරේ පැවසූ වදන් ඒ අයුරින් ම දන්වා යැවීය.

අන්දරේ මළ පුවත අසා කම්පා වූ රජ්ජුරුවෝ වහා පිරිවර සමග එහි වැඩියහ.

අන්දරේගේ සිරුර දරදඬු වී තිබුණේ කතිරයක් ලෙසය. අත්පා නමන්නට නොහැකි නිසා රජ්ජුරුවෝ එම සිරුරේ හැඩයට පෙට්ටියක් තනන්නැයි වඩුවකු ගෙන්වා නියෝග කළහ. අන්දරේ වළලන්නට තැනූ ඒ කතිර පෙට්ටිය දුටු රජ්ජුරුවන්ට සිනා පහළ විය. ‘‘අන්දරේ මැරිලත් මාව සිනස්සනවා’’යැයි කී රජ්ජුරුවෝ කඳුළු පිසදමමින් පැවසූහ.

අන්දරේ ස්මාරකයට අමතරව ඔහුගේ පිළිරුවක් ද දකුණු පළාතේ මාතර කතරගම මාර්ගයේ නෝනාගම හන්දියේ ඉදිකර තිබේ.

Post a Comment

5 Comments

  1. හිනා යෑම කෙසේ වෙතත් මේක නම් හරිම සංවේදී කථාවක්... ලොවක් හිනැස්සවත් මිනිසෙක්ගේ අවසන් මොහොත කොතරම් සංවේදීද???

    ReplyDelete
  2. pallemalala thiyenneth andarege piliruwak neda yaluwa

    ReplyDelete
  3. නෝනාගම හන්දියෙ තියෙන්නෙ ගජමන් නෝනගෙ පිළිරුව..මේ අන්දරේගෙ පිළිරුව තියෙන්නෙ උඩමලල හන්දියෙ...

    ReplyDelete
  4. නෝනාගම අන්දරේගේ පිළිරුවක් නෑ. ඒ ගජමන් නෝනාගේ පිළිරුවක්

    ReplyDelete